සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවීමට තවත් ඇත්තේ එක් දිනක් පමණක් වන අතර පුරාණ සම්ප්‍රදායට අනුව අද (13) පරණ අවුරුදු දිනය ලෙස සැමරේ. අතීතයේ සිටම ශ්‍රී ලාංකිකයන් පරණ අවුරුදු දිනයේදී නිවෙස් පිරිසිදු කිරීම් සහ කැවිලි පෙවිලි සකස් කිරීම් වැනි කටයුතු අවසන් කිරීමට වගබලා ගන්නා අතර, පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම ද අද දිනයට යෙදී තිබේ. ඒ අනුව දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණය කිරීම සුදුසු බව ජ්‍යොතිෂයේ දැක්වේ.
හෙට පූර්වභාග 10.51 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබත් සහ කැවිලි පිළියෙල කිරීමේ නැකත යෙදී ඇත. අනතුරුව හෙට අපරභාග 12.06 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන්ම සැරසී දකුණු දිශාව බලා වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය යන චාරිත්‍ර ඉටුකළ යුතු බව නැකත් පත්‍රයේ සඳහන් වේ.














