මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු මංගල්‍යයේ නොනගත කාලය නිමිත්තෙන් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පූජාවන් කිහිපයක් පවත්වන වේලාවන්හි සංශෝධනයක් සිදුකර ඇති බව බස්නායක නිළමේ කාර්යාලය නිවේදනය කරයි.
අද (අප්‍රේල් 13) පස්වරු 6.30 පූජාවෙන් අනතුරුව රාත්‍රී 9 ට පමණ කිරි උතුරුවා මහ දේවාලය වසා තබන අතර, එය නැවත විවෘත කරනු ලබන්නේ හෙට (අප්‍රේල් 14) පස්වරු 2 ටය. මේ හේතුවෙන් හෙට අලුයම 4.30 පූජාව සහ පෙරවරු 10.30 පූජාවන් නොපැවැත්වෙන බැවින් එම කාලය තුළ පෝලිම් ගැසී අපහසුතාවයට පත් නොවන ලෙස බස්නායක නිළමේ තිළිණ මධුසංඛ මහතා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.
වාර්ෂික බක්මහ මංගල්‍ය පෙරහර හෙට (අප්‍රේල් 14) රාත්‍රී 7.45 ට ආරම්භ කිරීමට නියමිතය. සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ ප්‍රධාන වාහල්කඩින් පිටත්වන පෙරහර වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කොට චිරාගත පුදසිරිත් ඉටු කිරීමෙන් පසු නැවත මහ දේවාලයට ගෙවැදීමට නියමිතය. අලි ඇතුන් සහ උඩරට, පහතරට, සබරගමු නර්තන කණ්ඩායම්වලින් වර්ණවත් වන මෙම පෙරහර අවසන් වීමෙන් පසු නැවත බැතිමතුන්ගේ පූජාවන් භාර ගැනීම සිදු කෙරේ.














