ඕතඩොක්ස් පාස්කු උත්සවය (Orthodox Easter) වෙනුවෙන් ප්‍රකාශයට පත් කර තිබූ පැය 32ක සටන් විරාම කාලසීමාව අවසන් වීමට පෙර, යුක්රේනයේ නැගෙනහිර ඩොනෙට්ස්ක් කලාපයට රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය බලධාරීහු ප්‍රකාශ කරති. ඩොනෙට්ස්ක් ප්‍රාදේශීය ආණ්ඩුකාර වඩීම් ෆිලාෂ්කින් මහතා සඳහන් කළේ ක්‍රමටෝර්ස්ක් (Kramatorsk) සහ ඩෘෂ්කිව්කා (Druzhkivka) යන නගරවලදී මෙම මරණ සිදුව ඇති බවයි.
පසුගිය සෙනසුරාදා පස්වරුවේ සිට ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක වූ මෙම සටන් විරාමය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රුසියාව සහ යුක්රේනය එකිනෙකාට චෝදනා කර ගනිති. මේ අතර, සටන් විරාම කාලසීමාව තුළදී රුසියානු සෙබළුන් විසින් යුක්රේන යුද සිරකරුවන් සිව්දෙනෙකු ද වෙඩි තබා ඝාතනය කර ඇති බව යුක්රේන හමුදා මූලස්ථානය චෝදනා කරන නමුත් රුසියාව මෙතෙක් ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වා නොමැත. යුක්රේන හමුදා පවසන පරිදි මෙම කෙටි සටන් විරාම කාලය තුළ පමණක් රුසියාව විසින් 10,721 වතාවක් සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කර තිබේ.














