ඉන්දීය සංගීත ලෝකයේ මහා සලකුණක් වූ ප්‍රවීණ ගායන ශිල්පිනී අශා බෝස්ලේ (Asha Bhosle) මහත්මිය අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ දේහය මුම්බායිහි පිහිටි ඇයගේ නිවසේදී ඉන්දීය ජාතික ධජයෙන් ඔතා උත්තමාචාර පිරිනමන ලදී. වසර අසූවකට වැඩි කාලයක් සිය හඬින් ලොවක් පිනවූ මෙම අසහාය කලාකාරිණියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතය. 92 වන වියෙහි පසු වූ ඇය පපුවේ ආසාදනයක් සහ දැඩි විඩාබර ගතිය හේතුවෙන් මුම්බායිහි බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන්ද්‍රියයන් අක්‍රීය වීම හේතුවෙන් ඊයේ (අප්‍රේල් 12) උදෑසන අභාවප්‍රාප්ත විය. ඇයගේ දේහය මුම්බායිහි ලෝවර් පරල් ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අද (අප්‍රේල් 13) පස්වරු 4ට මුම්බායිහි ශිවාජි පාර්ක් පිටියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ.
භාෂා 20කට අධික සංඛ්‍යාවකින් ගීත 12,000කට වඩා ගායනා කර ඇති ඇය ලොව වැඩිම ගීත සංඛ්‍යාවක් පටිගත කළ කලාකාරිණිය ලෙස ගිනස් වාර්තාවට ද හිමිකම් කියයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ලොව පුරා කලාකරුවන් රැසක් ඇයගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කර ඇති අතර ඇයගේ සමුගැනීම ඉන්දීය සිනමාවට සහ සංගීතයට පිරවිය නොහැකි අඩුවක් මෙන්ම යුගයක නිමාව සනිටුහන් කිරීමක් ලෙස විචාරකයෝ හඳුන්වති.














