ඇමෙරිකානු මධ්‍යම බලඇණිය (CENTCOM) විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඉරානය වෙත පැමිණෙන සහ එරටින් පිටවන නෞකා අවහිර කිරීමට තීරණය කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. පකිස්ථානයේ මැදිහත් වීමෙන් ඉස්ලාමාබාද් නුවර පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීමෙන් පසුව ඇමෙරිකාව මෙම දැඩි පියවර ගෙන ඇති අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රෙන්ට් බොරතෙල් මිල 7.3% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 102.16 දක්වා ද, ඇමෙරිකානු WTI බොරතෙල් මිල 8.4% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 104.69 දක්වා ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
මෙම නාවික අවහිරය යටතේ ඉරාන වරායන් වෙත ඇතුළුවන හෝ ඉන් පිටවන ඕනෑම රටකට අයත් නෞකා පරීක්ෂා කිරීමට සහ අවහිර කිරීමට CENTCOM බලකාය කටයුතු කරනු ලැබුවද, ඉරාන නොවන වරායන් කරා යන නෞකාවලට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට බාධාවක් නොවන බව ඇමෙරිකාව පවසයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් ඇමෙරිකාවේ පියවර උපහාසයට ලක් කර ඇති අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ එළඹෙන නොවැම්බර් මැතිවරණය දක්වා ඉන්ධන මිල මෙලෙස ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි. මෙම තත්ත්වය ලෝක ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල ඉන්ධන මිල කෙරෙහි ද ඉදිරියේදී සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














