අලුත් අවුරුදු උත්සව සමය තුළ මහජනතාවගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය රැක ගැනීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විශේෂ දැනුවත් කිරීමක් සිදු කර තිබේ. දිවයින පුරා පිහිටි සියලුම රෝහල් පැය 24 පුරාම සේවාවන් සැපයීමට සූදානමින් පවතින බවත්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ඒ වෙනුවෙන් කැපවී සිටින බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.
ගිනිකෙළි භාවිතයේදී සහ කුඩා දරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය. රිය අනතුරු වළක්වා ගැනීම සඳහා අධික වේගයෙන් රිය පැදවීමෙන් සහ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමෙන් වැළකී සිටිය යුතු අතර, අධික වෙහෙස සහ නිදිමත පවතී නම් ගමන් බිමන් යාමෙන් වැළකී සිටීම වැදගත් වේ.
පවතින වියළි කාලගුණය හමුවේ පිරිසිදු පානීය ජලය භාවිතය කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර, හැකිතාක් ජලය උණු කර නිවා පානය කරන ලෙස උපදෙස් දෙනු ලැබේ. උත්සව සමයේ ආහාර රටාව වෙනස් වන බැවින්, විශේෂයෙන් දියවැඩියාව, හෘදයාබාධ සහ වකුගඩු රෝග වැනි දීර්ඝකාලීන රෝගාබාධ පවතින පුද්ගලයන් සිය ඖෂධ ලබා ගැනීමට අමතක නොකළ යුතු අතර පැණි රස ආහාර පාලනය කළ යුතුය. එමෙන්ම පිරිසිදු සහ ගුණාත්මක ආහාර පමණක් ලබා ගැනීමටත්, අපිරිසිදු ආහාර අලෙවි නොකරන ලෙස වෙළෙඳුන්ටත් මෙහිදී උපදෙස් ලබා දී තිබේ.














