ඉරානයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑමෙන් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා සැම්බියානු රජය මාස තුනක කාලයකට ඉන්ධන බදු අත්හිටුවීමට පියවර ගෙන තිබේ. සැම්බියානු මුදල් අමාත්‍ය සිටුම්බෙකෝ මුසොකොට්වානේ මහතා වොෂින්ටන් නුවරදී ප්‍රකාශ කළේ, මෙම තීරණය හේතුවෙන් රජයට හිමිවීමට තිබූ ඩොලර් මිලියන 100ක ආදායමක් අහිමි වන බවයි.
ඉරාන යුද්ධය හේතුවෙන් ලෝකයේ ප්‍රධානතම බලශක්ති සැපයුම් මාර්ගයක් වන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ අවහිර වීම නිසා සැම්බියාවේ සිට ඉන්දියාව දක්වා රටවල් රැසක් ඉන්ධන සහ පොහොර මිල ඉහළ යාමේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. මේ වන විට ඊජිප්තුව රජයේ වාහන සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව 30% කින් කපා හැර ඇති අතර, ඉතියෝපියාව සහ දකුණු කොරියාවද ඉන්ධන මිල පාලනය කිරීමට විවිධ පියවර ගෙන තිබේ. අප්‍රිකාවේ දෙවන විශාලතම තඹ නිෂ්පාදකයා වන සැම්බියාවට ඉන්ධන හිඟයක් ඇති වුවහොත් එය එරට පතල් කර්මාන්තයට සහ සමස්ත ආර්ථිකයටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් අනතුරු ඇඟවීය.














