කෘතිම බුද්ධිය (AI) පිළිබඳ ලොව ප්‍රමුඛතම ආරම්භක සමාගමක් වන Anthropic, සිය පාලක මණ්ඩලය සඳහා නවෝර්ටිස් (Novartis) ඖෂධ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වාස් නරසිංහන් පත් කර තිබේ. ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙකු Anthropic හි අධ්‍යක්ෂ මණ්ඩලයට එක් වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.
Anthropic සමාගමේ ස්වාධීන ආයතනයක් වන ‘Anthropic Long-Term Benefit Trust’ විසින් මෙම පත්කිරීම සිදු කර ඇත. නරසිංහන් මහතා සමඟ ක්ලෝඩ් (Claude) චැට්බොට් නිර්මාණය කළ ඩාරියෝ අමෝඩෙයි, ඩැනියෙලා අමෝඩෙයි, නෙට්ෆ්ලික්ස් සභාපති රීඩ් හේස්ටින්ග්ස් සහ මයික්‍රොසොෆ්ට් හිටපු විධායක නිලධාරී ක්‍රිස් ලිඩෙල් වැනි ප්‍රමුඛයන් පිරිසක් දැනටමත් එම මණ්ඩලයේ සේවය කරති.
ඖෂධ සහ ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිය අත්දැකීම් පිළිබඳව අදහස් දක්වමින් නරසිංහන් මහතා සඳහන් කළේ, තාක්ෂණය වඩාත් වටින්නේ එය වගකීම් සහගතව භාවිත කරන විට බවයි. විශේෂයෙන්ම රෝග පිළිබඳ ජීව විද්‍යාත්මක අවබෝධය ගැඹුරු කිරීමටත්, නව ඖෂධ සැලසුම් කිරීමටත් AI තාක්ෂණය දැනටමත් විශාල දායකත්වයක් ලබා දෙන බව ඔහු පෙන්වා දුන්නේය.
Anthropic සමාගම මේ වසරේදී කොටස් වෙළඳපොළට පිවිසීමට (IPO) සූදානම් වන බවට වාර්තා පළ වන පසුබිමක, මෙවැනි ප්‍රවීණයන් අධ්‍යක්ෂ මණ්ඩලයට එක්කර ගැනීම එම සමාගමේ ව්‍යාපාරික වර්ධනයට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට AI තාක්ෂණය හඳුන්වා දීමට ද මනා පිටුවහලක් වනු ඇත.














