ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය අතර පවතින “සුවිශේෂී සබඳතාව” (Special Relationship) පිරිහී ඇති බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවස (Downing Street) විසින් අද (15) දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ලදී. ‘ස්කයි නිවුස්’ (Sky News) පුවත් සේවය සමඟ දුරකථනයෙන් අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් පවසා තිබුණේ, බ්‍රිතාන්‍යය තමන්ට අවශ්‍ය අවස්ථාවන්හිදී සහය ලබා නොදුන් බවත්, මේ නිසා දෙරට අතර සබඳතාව “කණගාටුදායක තත්ත්වයක” පවතින බවත්ය.
විශේෂයෙන්ම ඉරානය සමඟ පවතින යුද්ධයට සහය නොදක්වන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර්ගේ (Keir Starmer) තීරණය මෙහිදී ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට ලක්විය. “අප ඔවුන්ගෙන් උදව් ඉල්ලූ අවස්ථාවලදී ඔවුන් එහි සිටියේ නැහැ” යනුවෙන් පැවසූ ට්‍රම්ප්, පසුගිය වසරේ ඇති කරගත් ඇමෙරිකා – බ්‍රිතාන්‍ය වෙළඳ ගිවිසුමේ කොන්දේසි “ඕනෑම අවස්ථාවක වෙනස් කළ හැකි” බවට ද අනතුරු ඇඟවීය. එමෙන්ම බ්‍රිතාන්‍යයේ වත්මන් බලශක්ති සහ සංක්‍රමණික ප්‍රතිපත්ති ද ඔහුගේ විවේචනයට බඳුන් විය.
අද දින පාර්ලිමේන්තුවේදී (PMQs) අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් අවධාරණය කළේ, ඇමෙරිකාවෙන් එල්ල වන කිසිදු බලපෑමකට තමන් යටත් නොවන බවයි. “මෙය අපේ යුද්ධයක් නොවෙයි. වෙනත් මාවතකට අවතීර්ණ වන ලෙස මට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. නමුත් මම මගේ ස්ථාවරය දන්නවා. මම මේ බලපෑම් හමුවේ පසුබසින්නේ නැහැ,” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
මෙම රාජ්‍යතාන්ත්‍රික ගැටුම මධ්‍යයේ වුවද, බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජු සහ කැමිලා රැජින අප්‍රේල් මස අගදී ඇමෙරිකාවේ සිදු කිරීමට නියමිත රාජ්‍ය සංචාරය (State Visit) සැලසුම් කළ පරිදිම ක්‍රියාත්මක වන බව බ්‍රිතාන්‍ය බලධාරීන් තහවුරු කරයි. දෙරට අතර සබඳතාව වෙළඳාම, ජාතික ආරක්ෂාව සහ සංස්කෘතික බැඳීම් මත ශක්තිමත්ව පවතින බව ඩවුනිං වීදිය වැඩිදුරටත් සඳහන් කළේය.














