පේරු රාජ්‍යයේ පසුගිය ඉරිදා පැවැති ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිව්වැනි දිනටත් ක්‍රියාත්මක වන අතර, එහිදී ප්‍රමුඛස්ථානය ගෙන සිටින ගතානුගතික නායිකා කීකෝ ෆුජිමෝරි සමඟ දෙවැනි වටයේදී තරග කරන අනෙක් අපේක්ෂකයා කවුරුන්ද යන්න තවමත් අවිනිශ්චිත මට්ටමක පවතී. දැනට 90%ක පමණ ඡන්ද ප්‍රමාණයක් ගණනය කර අවසන් වුවද, කිසිදු අපේක්ෂකයෙකුට ජයග්‍රහණය සඳහා අවශ්‍ය 50%ක අවම ප්‍රතිශතය ලබා ගැනීමට හැකි වී නැත.
දැනට නිකුත් වී ඇති නිල දත්ත අනුව කීකෝ ෆුජිමෝරි 16.9%ක ප්‍රතිශතයක් ලබා ගනිමින් පළමු ස්ථානයේ පසුවේ. වාමාංශික මන්ත්‍රී රොබර්ටෝ සැන්චෙස් සහ දක්ෂිණාංශික අපේක්ෂක රාෆායෙල් ලෝපෙස් අලියගා 12% බැගින් ලබා ගනිමින් දෙවැනි ස්ථානය සඳහා කරට කර සටනක නිරත වන අතර, මධ්‍ය-වාමාංශික අපේක්ෂක ජෝර්ජ් නීටෝ 11%ක් ලබා ගනිමින් ඔවුන්ට සමීපව පසුවන බව එරට මැතිවරණ බලධාරීන් පවසයි.
ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන අතරතුර මැතිවරණ වංචා සිදුව ඇති බවට චෝදනා ද එල්ල වෙමින් පවතින අතර, ඇතැම් අපේක්ෂකයින් මැතිවරණ ප්‍රතිඵල අවලංගු කරන ලෙසට ද ඉල්ලීම් කරමින් සිටියි. අපේක්ෂකයින් දෙදෙනෙකු අතර පැවැත්වෙන තීරණාත්මක දෙවැනි වටයේ ඡන්ද විමසීම ලබන ජූනි මස 7 වනදා පැවැත්වීමට නියමිතය.














