පසුගිය 13 වැනිදා හෙවත් පරණ අවුරුදු දින කාන්තාවන් දෙදෙනෙකුගේ රන් මාල කොල්ලකෑමට සම්බන්ධ යුද හමුදා සාජන් මේජර්වරයෙකු මහනුවරදී අත්අඩංගුවට ගෙන තිබේ. මොරවැව හමුදා කඳවුරේ සේවය කරන වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු, එදින අලුයම හිටපු සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ බිරිඳගේ පවුම් 4ක රන් මාලය කොල්ලකා එය රුපියල් හාරලක්ෂ හැට දහසකට උකස් කර ඇති බව විමර්ශනවලදී හෙළි විය. එම මුදලින් ඔහු ‘ඔන්ලයින්’ සූදු ක්‍රීඩාවේ නිරත වී ඇති අතර ඉන් පරාජය වීමෙන් පසු නැවත මුදල් සොයා ගැනීමේ අරමුණින් එදිනම සවස මහනුවර වැව රවුම ප්‍රදේශයේදී තවත් කාන්තාවකගේ පවුම් 3ක රන් මාලයක් කඩා පළා යාමට උත්සාහ කර ඇත.
එම අවස්ථාවේදී අදාළ කාන්තාවගේ කෑගැසීම ඇසී සිවිල් තරුණයෙකු සැකකරු පසුපස හඹා ගොස් ඇති අතර විශේෂ අවුරුදු රාජකාරියේ නිරතව සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියන් සිව් දෙනෙකු වහා ක්‍රියාත්මක වී සැකකරුව මෙල්ල කර අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වීරෝදාර ක්‍රියාව අගය කරමින් පොලිස් දෙපාර්තමේන්තුව මගින් එම කාන්තා නිලධාරිනියන් සිව් දෙනාට සහ තරුණයාට රුපියල් 5,000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමට ද කටයුතු කර ඇත. සැකකරු මේ මස 20 වැනිදා දක්වා රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කිරීමට මහනුවර වැඩබලන මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී ඇති අතර මහනුවර මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.













