බෙංගාල බොක්කේ උතුරු අන්දමන් දූපත් ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව ශ්රී ලංකා කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
ඔක්තෝබර් 24 වැනිදා නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, මෙම පද්ධතිය ඔක්තෝබර් 25 වැනිදා වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවටත්, ඔක්තෝබර් 26 වැනිදා උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර-මධ්යම ප්රදේශයේ සුළි කුණාටුවක් බවටත් වර්ධනය වීමට ඉඩ ඇත.
මෙම පද්ධතියෙන් ශ්රී ලංකාවට සෘජු බලපෑමක් අපේක්ෂා නොකළද, එහි බලපෑමෙන් දිවයිනේ ඇතැම් ප්රදේශවල වැසි තත්ත්වය වැඩි විය හැකියි. බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ අනෙකුත් ප්රදේශවල ද සවස් කාලයේ වැසි ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර, උතුරු අක්ෂාංශ 10°–20° සහ නැගෙනහිර දේශාංශ 80°–95° අතර ගැඹුරු මුහුදු ප්රදේශවලට යාත්රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්රජාවට දැනුම් දී තිබේ. දැනට එම ප්රදේශවල සිටින යාත්රා ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කළ යුතු බව ද බලධාරීන් අවධාරණය කර ඇත.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං සහ අකුණු පිළිබඳව ද අවධානයෙන් සිටින ලෙස ජනතාවට උපදෙස් ලබා දී තිබේ.











