අමාත්‍ය ලාල් කාන්ත මහතා සිය වත්කම් හා බැරකම් ප්‍රකාශය පාර්ලිමේන්තුව හරහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වුවද, එය මේ වන විට අන්තර්ජාලයෙන් ඉවත් කර ඇත්තේ මන්දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජීව එදිරිමාන්න මහතා ප්‍රශ්න කර සිටියි. පොදු ලේඛනයක් ලෙස මහජනතාවට විවෘත විය යුතු මෙවැනි වාර්තාවක් අන්තර්ජාලයෙන් ඉවත් කිරීම පිටුපස ඇති හේතුව කුමක්දැයි ඔහු විමසා සිටියේය. වත්කම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමේ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුක්ත විය යුතු බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
විශේෂයෙන්ම දූෂණ විරෝධී පනත යටතේ මෙවැනි ලේඛන ප්‍රසිද්ධ කිරීම අනිවාර්ය කර ඇති පසුබිමක, අදාළ අමාත්‍යවරයාගේ තොරතුරු පමණක් ලබා ගැනීමට නොහැකි වීම ගැටලු සහගත බව එදිරිමාන්න මහතා පෙන්වා දෙයි. රජය විනිවිදභාවය පිළිබඳ කතා කළද ප්‍රායෝගිකව සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ජනතාව තුළ සැකයක් පවතින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වහාම කරුණු පැහැදිලි කළ යුතු බවත්, අතුරුදන්ව ඇති බව කියන දත්ත නැවත ප්‍රසිද්ධ කිරීමට පියවර ගත යුතු බවත් ඔහු සඳහන් කර සිටියි.













