ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සිය විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් පවතින කටකතා පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ ඒ පිළිබඳව මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොමැති බවයි.
තමන්ගේ ශරීර යෝග්‍යතාවය (Fitness) සතුටුදායක මට්ටමක පවතින බැවින්, තවත් වසරක හෝ දෙකක කාලයක් ක්‍රීඩා කරන ලෙස නව පුහුණුකරු තමන්ගෙන් ඉල්ලා සිටි බව ඇය අනාවරණය කළාය. සිය ක්‍රිකට් අනාගතය පිළිබඳ අවසන් තීරණය ඉදිරි ලෝක කුසලාන තරඟාවලියෙන් පසුව ගන්නා බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම බංග්ලාදේශ සංචාරයේ පැවැත්වෙන එක්දින තරඟාවලිය ඉතා තීරණාත්මක බවත්, එහි ප්‍රසාද ලකුණු මත ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ වටයකට මුහුණ නොදී සෘජුවම සුදුසුකම් ලැබීමට (Direct Qualification) කණ්ඩායම බලාපොරොත්තු වන බවත් ඇය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් වර්තමානය වන විට ඉතා ඉහළ මට්ටමක පවතින බව පෙන්වා දුන් ඇය, විශේෂයෙන්ම 19න් පහළ කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයට පිවිසීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක ලෙස තමන් මහත් සතුටට පත්වන බව ද ප්‍රකාශ කළාය.














