නුවරඑළිය, බඹරකැලේ වත්තේ නිවාස පේළියකට යාබදව ඉදිකර තිබූ තාවකාලික නිවාස තුනක් ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි.
ඊයේ (අප්‍රේල් 16) රාත්‍රී 7:30ට පමණ හටගත් මෙම ගින්න හේතුවෙන් පවුල් තුනකට අයත් සාමාජිකයන් 12 දෙනෙකු අවතැන් වී ඇත. ඔවුන් මේ වන විට තාවකාලිකව ඥාති නිවාසවල රැඳී සිටින බව වාර්තා වේ.
ගින්නෙන් පදිංචිකරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය මෙන්ම පාසල් දරුවන්ගේ පොත්පත් ද විනාශ වී තිබේ. මෙය කිසියම් පුද්ගලයෙකු විසින් සිදුකළ හිතාමතා ගිනි තැබීමක් බවට අවතැන් වූ ජනතාව සැක පළ කරති.
අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ගිනි තැබූ බවට සැකකෙරෙන පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා නුවරඑළිය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.














