රුපියල් හැට නව ලක්ෂයක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතික ව්‍යාපාරිකයන් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ (17) උදෑසන මොවුන් දිවයිනට පැමිණ ඇති අතර, ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී සඟවා තිබූ දුම්වැටි කාටූන් 230ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත. එහි අඩංගු දුම්වැටි ප්‍රමාණය 46,000කි.
අත්අඩංගුවට ගත් 23 සහ 25 යන වයස්වල පසුවන මෙම ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් විධිමත් රේගු පරීක්ෂණයක් පවත්වා ඇති අතර, එහිදී නීතිවිරෝධී දුම්වැටි තොගය රාජසන්තක කිරීමට පියවර ගැනුණි. මීට අමතරව, අදාළ පුද්ගලයන් තිදෙනාට රුපියල් 150,000 බැගින් රුපියල් ලක්ෂ හතරහමාරක දඩ මුදලක් ගෙවන ලෙස ද රේගු නිලධාරීන් නියෝග කර තිබේ.














