එළඹෙන මැයි දිනය පෝය දිනයක යෙදී ඇති බැවින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි දින රැළි පවත්වනු වෙනුවට ආගමික වතාවත්වලට මුල්තැන දීමට තීරණය කර ඇත. අද (අප්‍රේල් 20) නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ පැවැති හමුවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ එදිනට තමන් සිල් සමාදන් වන බවයි.
අලුත් අවුරුද්දෙන් පසු පක්ෂයට බලය ලබා ගැනීම සඳහා විශාල සැලසුමක් ඇති බවත්, නුදුරේදීම දේශපාලන වෙනසක් සිදුවිය හැකි බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ජනතාව මෙවර අලුත් අවුරුද්ද සැමරීමට මැළි වූ බව පෙන්වා දුන් ඔහු, මෙම වසර පක්ෂයට ජයග්‍රාහී වසරක් වනු ඇති බව ද ප්‍රකාශ කළේය.
එදිනට අභාවප්‍රාප්ත ටී.බී. ඉලංගරත්න මහතාගේ පිළිරුව ඉදිරිපිට උපහාර දැක්වීමටත්, සියලු ආගමික සිද්ධස්ථානවල කම්කරු ජනතාවට ආශීර්වාද කරමින් පින්කම් පැවැත්වීමටත් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.














