ඉරාන යුද්ධය හේතුවෙන් ඉහළ ගොස් ඇති ඉන්ධන මිල පාලනය කිරීම සඳහා, විදේශීය නෞකාවලට ඇමෙරිකානු වරායන් අතර ඉන්ධන ප්‍රවාහනය කිරීමට ලබා දී ඇති අවසරය (Jones Act waiver) තවදුරටත් දීර්ඝ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සලකා බලමින් සිටින බව ඇක්සියොස් (Axios) පුවත් සේවය වාර්තා කරයි.
සාමාන්‍යයෙන් ඇමෙරිකානු නීතියට අනුව (Jones Act), එරට වරායන් දෙකක් අතර භාණ්ඩ ප්‍රවාහනය කළ හැක්කේ ඇමෙරිකානු ධජය සහිත, ඇමෙරිකාවේ නිෂ්පාදිත සහ ඇමෙරිකානු කාර්ය මණ්ඩලයක් සහිත නෞකාවලට පමණි. කෙසේ වෙතත්, යුධමය වාතාවරණය හමුවේ ඉන්ධන සැපයුම වේගවත් කිරීම සඳහා පසුගිය මාර්තු 17 වනදා සිට දින 60ක කාලයකට මෙම නීතිය ලිහිල් කිරීමට ට්‍රම්ප් පියවර ගත්තේය.
මෙම සහනය තවදුරටත් දීර්ඝ කිරීම හරහා ඇමෙරිකාවේ ගල්ෆ් වෙරළ තීරයේ සිට අනෙකුත් ප්‍රදේශ වෙත වඩාත් ලාභදායී ලෙස සහ වේගවත්ව ඉන්ධන ප්‍රවාහනය කිරීමට විදේශීය නෞකාවලට අවස්ථාව හිමි වේ. එමඟින් ඇමෙරිකානු පාරිභෝගිකයන්ට දැනෙන ඉහළ ඉන්ධන මිල යම් මට්ටමකට පහත හෙළීමට හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.














