ඉරානයේ සහය ලබන හිස්බුල්ලා (Hezbollah) සංවිධානය සමඟ ගැටුමකට එළඹීමට ලෙබනන් රජය අදහස් නොකරන බවත්, එහෙත් ඊශ්‍රායලය සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවලදී කිසිදු බිය ගැන්වීමකට ලෙබනන් රජය යටත් නොවන බවත් එරට අග්‍රාමාත්‍ය නවාෆ් සලාම් (Nawaf Salam) අවධාරණය කළේය.
ඉදිරියේදී ඊශ්‍රායලය සමඟ පැවැත්වීමට නියමිත සෘජු සාකච්ඡාවලදී ලෙබනනයේ ස්ථාවරය ශක්තිමත් කර ගැනීම සඳහා ලෙබනන් අග්‍රාමාත්‍යවරයා සහ ප්‍රංශ ජනාධිපතිවරයා අතර පැරිස් නුවරදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ලෙබනන් රජය ප්‍රංශය සිය විශ්වාසවන්තම යුරෝපීය මිතුරෙකු ලෙස සලකනු ලබයි.
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර තානාපති මට්ටමේ සාකච්ඡා ලබන බ්‍රහස්පතින්දා ඇමෙරිකා එක්සත් ජනපදයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාවල මූලික අරමුණ දැනට පවතින සති දෙකක තාවකාලික සටන් විරාමය දීර්ඝ කිරීම ද නැතහොත් ස්ථිර සාම සාකච්ඡා සඳහා මග පෑදීම ද යන්න මෙතෙක් ස්ථිරව ප්‍රකාශ වී නොමැත.
ප්‍රංශය මෙම සාකච්ඡාවලට සම්බන්ධ කර ගැනීමට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය යම් මැලිකමක් දක්වන බව වාර්තා වේ. දුර්වල මට්ටමේ පවතින ලෙබනන් රජය වෙත ඉටු කළ නොහැකි මට්ටමේ ඉල්ලීම් ඉදිරිපත් වනු ඇතැයි යන බිය ද ලෙබනන් බලධාරීන් තුළ පවතී.














