ගෝලීය බලශක්ති සැපයුමට අතිශය වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) යළි විවෘත කිරීම සහ එහි නාවික ගමනාගමනයේ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡා මාලාවක් අද (අප්‍රේල් 22) ලන්ඩන් නුවරදී ආරම්භ වේ. බ්‍රිතාන්‍ය රජය විසින් සංවිධානය කරනු ලබන මෙම දෙදින සාකච්ඡා සඳහා රටවල් 30කට අධික සංඛ්‍යාවක යුද සැලසුම්කරුවන් සහ නියෝජිතයන් සහභාගී වීමට නියමිතය.
බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ප්‍රමුඛත්වයක් ගන්නා මෙම ජාත්‍යන්තර මෙහෙයුමට සහය දීම සඳහා රටවල් 12කට අධික සංඛ්‍යාවක් දැනටමත් සිය එකඟතාව පළ කර ඇත. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නෞකා ගමනාගමනයට ආරක්ෂාව සැපයීම සඳහා ඒකාබද්ධ සැලසුමක් (Joint Plan) සකස් කිරීම මෙම සාකච්ඡාවල මූලික අරමුණයි.
පසුගිය සතියේ යුරෝපීය, ආසියානු සහ මැදපෙරදිග රටවල් 50ක සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවල ඉදිරි පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක වේ. බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජෝන් හීලි (John Healey) සඳහන් කළේ, රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පවතින එකඟතාවයන් ප්‍රායෝගික යුද සැලසුම් බවට පත් කිරීම මෙම දින දෙකේ ප්‍රධාන කාර්යය බවයි.
සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට අවශ්‍ය යුදමය හැකියාවන්, අණ දීමේ සහ පාලනය කිරීමේ විධිවිධාන (Command and control) මෙන්ම අදාළ කලාපය වෙත හමුදා බලඇණි ස්ථාපනය කරන ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇත. මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ ස්ථිර සටන් විරාමයක් ප්‍රකාශයට පත් වීමෙන් පසුව බව ද බ්‍රිතාන්‍ය රජය අවධාරණය කරයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවට සිය මිත්‍ර රටවල සහය අවශ්‍ය නොවන බව පවසා ඇති පසුබිමක, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය මෙලෙස ස්වාධීනව අනෙකුත් රටවල් ඒකාබද්ධ කර ගැනීමට උත්සාහ කිරීම විශේෂත්වයකි.
















