මෙක්සිකෝවේ අතුරුදන් වූවන් සොයා යන මානව හිමිකම් ආරක්ෂකයින්ට, මාධ්‍යවේදීන්ට සහ ක්‍රියාකාරීන්ට එල්ල වන ප්‍රහාර 2025 වසරේදීත් නොකඩවා පැවති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International) ආයතනය සිය වාර්ෂික වාර්තාව මගින් පෙන්වා දෙයි. මේ වන විට එරට වාර්තා වී ඇති අතුරුදන්වීම් සංඛ්‍යාව 133,500ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය දෙසැම්බර් වන විට පුද්ගල අතුරුදන්වීම් සංඛ්‍යාව 10.5%කින් ඉහළ ගොස් ඇතත්, මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 27.4%කින් පහත වැටී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, 2025 ගෝලීය වධහිංසා දර්ශකයට අනුව ලෝකයේ වැඩිම වධහිංසා පැමිණවීම් සිදුවන රටවල් අතර මෙක්සිකෝව තවදුරටත් ඉදිරියෙන් පසුවේ.
මානව හිමිකම් ආරක්ෂකයින්ට එල්ල වන තර්ජන සහ මනුෂ්‍ය ඝාතන ඉහළ යද්දී, ඔවුන්ට රජයෙන් ලැබෙන ආරක්ෂක විධිවිධාන ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව ඇම්නෙස්ටි ආයතනය චෝදනා කරයි. මීට අමතරව මෙක්සිකෝව හරහා ගමන් කරන සංක්‍රමණිකයන්ට කප්පම් ගැනීම්, පැහැර ගැනීම් සහ සෞඛ්‍ය ඇතුළු මූලික පහසුකම් ලබා ගැනීමේදී දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව ඇත.
මෙක්සිකෝවේ සිදුවන මෙම බලහත්කාරී අතුරුදන්වීම් ‘මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ’ (Crimes against humanity) ලෙස සලකා විමර්ශනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ කමිටුවක් පසුගිය අප්‍රේල් මුලදී ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, එරට ජනාධිපති ක්ලෝඩියා ෂෙයින්බෝම් (Claudia Sheinbaum) එම ඉල්ලීම දේශපාලනික අරමුණින් කරන ලද්දක් බව පවසමින් ප්‍රතික්ෂේප කර තිබේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Turk) මේ දිනවල මෙක්සිකෝවේ සිව්දින සංචාරයක නිරතව සිටී. අතුරුදන් වූවන්ගේ පවුල් සමඟ සාකච්ඡා කළ ඔහු, ඔවුන් යුක්තිය සහ සත්‍යය සොයා යන ගමනට නිසි විසඳුම් ලැබිය යුතු බව අවධාරණය කළේය.














