චීනයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක්, සේවකයන් දැනට සිදුකරන කාර්යයන් එම ආකාරයෙන්ම ඉටු කිරීමට සමත් AI ඒජන්තයන් (AI agents) පුහුණු කරන ලෙස තම සේවකයන්ට බලපෑම් කිරීමත් සමඟ එරට තුළ විශාල මතභේදයක් හටගෙන තිබේ. MIT ටෙක්නොලොජි රිවිව් (MIT Technology Review) වාර්තාවකට අනුව, ඇතැම් සමාගම් තම සේවකයන්ගේ දෛනික රාජකාරි පටිපාටිය සහ තීරණ ගැනීමේ රටාවන් ඉතා සවිස්තරාත්මකව ලේඛනගත කර ඒවා AI මෙවලම් වෙත ලබා දෙන ලෙස බල කර සිටී.
මෙම මතභේදයේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ‘Colleague Skill’ නමින් හැඳින්වෙන GitHub ව්‍යාපෘතියකි. මෙම මෙවලම මගින් සේවකයෙකුගේ වැඩ කිරීමේ විලාසය, ප්‍රතිචාර දක්වන ආකාරය සහ ඔහුටම ආවේණික ලක්ෂණ උකහා ගෙන AI ඒජන්තයෙකු නිර්මාණය කළ හැකිය. ලාර්ක් (Lark) සහ ඩිංටොක් (DingTalk) වැනි චීන සන්නිවේදන ඇප්වල ඇති සේවකයන්ගේ පණිවිඩ සහ ලිපිගොනු විශ්ලේෂණය කිරීම මගින් එම පුද්ගලයාට සමානම ඩිජිටල් අනුපිටපතක් නිර්මාණය කිරීම මෙහිදී සිදුවේ. මෙය අත්හදා බැලූ ඇතැම් සේවකයන් පවසා ඇත්තේ එය ඉතාමත් තාත්වික මෙන්ම බියජනක (Creepy) අත්දැකීමක් බවයි.
සමාගම් කළමනාකාරීත්වය පවසන්නේ මෙය සේවක කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ගත් පියවරක් බව වුවද, සේවකයන් පවසන්නේ තමන් ලවාම තමන්ව රැකියාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය දත්ත සකස් කර ගැනීමට සමාගම් උත්සාහ කරන බවයි. තමන්ගේ ශ්‍රමය දත්ත ඒකක බවට පත් කර තමන්ව පහසුවෙන් ප්‍රතිස්ථාපනය කළ හැකි මට්ටමට පත් කිරීම පිළිබඳව බොහෝ ඉංජිනේරුවන් දැඩි අවිශ්වාසයකින් පසුවෙති.
මෙම තත්ත්වයට පිළියමක් ලෙස සේවකයන් අතර ‘Anti-distillation’ නමින් හැඳින්වෙන නව මෙවලම් ප්‍රසිද්ධ වෙමින් පවතී. මෙමගින් තම රාජකාරි ලේඛනගත කිරීමේදී AI පද්ධතිවලට තේරුම් ගත නොහැකි වන පරිදි දත්ත හිතාමතාම අපැහැදිලි (Vague) කිරීමට පියවර ගැනේ. චීන සමාජ මාධ්‍ය තුළ මේ පිළිබඳව පළ වූ වීඩියෝවක් මිලියන සංඛ්‍යාත ප්‍රතිචාර ලබා ගැනීමට සමත් වූයේ සේවකයන් තුළ ඇති මෙම බිය සහ විරෝධය මැනවින් පෙන්නුම් කරමිනි.
මෙම තත්ත්වය පුද්ගල ශ්‍රමය දත්ත බවට පත් කිරීම සහ සේවක අයිතිවාසිකම් අතර ඇති අලුත්ම ගැටුම ලෙස විචාරකයෝ හඳුන්වති.














