බෂාර් අල් අසාද්ගේ පාලනය බිඳ වැටීමෙන් පසු සිරියානු ජාතිකයන් යුරෝපා සංගමය තුළ දේශපාලන රැකවරණ (Asylum) ලබා ගැනීමේ ප්‍රවණතාව සීඝ්‍රයෙන් පහත වැටී ඇති බවත්, විශේෂයෙන්ම එරට සුළුතර ජාතීන් ඉදිරිපත් කරන අයදුම්පත් පවා ප්‍රතික්ෂේප වෙමින් පවතින බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. අසාද් පාලනය යටතේ විවිධ වරප්‍රසාද භුක්ති විඳි හෝ එම පාලනයට සම්බන්ධ යැයි සැලකෙන අලවයිට් (Alawite) වැනි සුළුතර ජාතීන්, වත්මන් සිරියාව තුළ තමන්ට හිංසනයන් එල්ල වීමේ දැඩි අවදානමක් ඇති බව පැවසුවද යුරෝපීය බලධාරීන් ඒවා සැලකිල්ලට නොගන්නා තත්ත්වයක් උදාවී තිබේ.
ඇම්ස්ටර්ඩෑම් හි ජීවත් වන 20 හැවිරිදි මොහොමඩ් නම් සිරියානු තරුණයෙකු පවසන්නේ, සන්නද්ධ කණ්ඩායම් තම නිවසට කඩා වැදී එල්ල කළ තර්ජන හමුවේ දිවි බේරා ගැනීමට යුරෝපයට පැමිණියද, දැන් තම රැකවරණ ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති බවයි. සිරියාව තවමත් අස්ථාවර සහ අනතුරුදායක මට්ටමක පවතින පසුබිමක, මෙලෙස රැකවරණ අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම අකාලයේ ගත් තීරණයක් බව මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති. කෙසේ වෙතත්, යුරෝපා රටවල් පවසන්නේ සිරියාවේ දේශපාලන තත්ත්වය වෙනස් වී ඇති බැවින් බොහෝ ප්‍රදේශ දැන් ආරක්ෂිත බවයි.














