ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර දිසානායක මහතා ප්‍රමුඛ වත්මන් රජයේ ආර්ථික කළමනාකරණය යටතේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒක පුද්ගල දළ දේශීය ආදායම ඩොලර් 5000 සීමාව ඉක්මවා යාමට සමත්ව තිබේ. 2025 වර්ෂය සඳහා වන මහ බැංකු වාර්ෂික ආර්ථික විවරණයට අනුව, මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා වී ඇත.
2024 වසරේ ඩොලර් 4,546ක්ව පැවති ඒක පුද්ගල ආදායම, වසරක් තුළ ඩොලර් 457ක සැලකිය යුතු වර්ධනයක් අත්කර ගනිමින් 2025 වසර වන විට ඩොලර් 5,003ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය මෙරට ආර්ථිකය ලැබූ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මීට පෙර මෙරට ඉහළම ඒක පුද්ගල ආදායම වාර්තා වූයේ 2019 වසරේදී (ඩොලර් 4,080) වන අතර, රට බංකොලොත් වූ 2022 වසරේදී එය ඩොලර් 3,464ක් දක්වා දැඩි ලෙස කඩා වැටුණි. කෙසේ වෙතත්, 2023 වසරේ සිට ක්‍රමයෙන් වර්ධනය වූ ආදායම මෙලෙස ඩොලර් 5000 සීමාව පසු කර ඇත්තේ වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ ආර්ථිකය යථා තත්ත්වයට පත් කරමිනි.
2023 දී ඩොලර් 3,818ක් සහ 2024 දී ඩොලර් 4,546ක් වශයෙන් වාර්තා වූ ක්‍රමානුකූල වර්ධනය, වත්මන් ආණ්ඩුව යටතේ වඩාත් ස්ථාවර මට්ටමකට පත්ව ඇති බව මෙම දත්ත මගින් තහවුරු වේ. මෙම වර්ධනය මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.












