අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් එරට හමුදා GPS චන්ද්‍රිකා ජාලය සඳහා නිර්මාණය කරමින් තිබූ මීළඟ පරම්පරාවේ භූමි පාලන පද්ධතිය (OCX – Operational Control Segment) නිල වශයෙන් අත්හිටුවීමට තීරණය කර තිබේ. වසර ගණනාවක සිට පැවති තාක්ෂණික දෝෂ, අධික පිරිවැය සහ කාලය ඉක්මවා යාම මෙම තීරණයට හේතු වී ඇත.
2010 වසරේදී Raytheon (දැනට RTX) සමාගම වෙත පවරන ලද මෙම ව්‍යාපෘතිය 2016 වසරේදී අවසන් කිරීමට අපේක්ෂා කළ අතර එහි ඇස්තමේන්තුගත පිරිවැය ඩොලර් බිලියන 3.7ක් විය. කෙසේ වෙතත්, ව්‍යාපෘතිය අත්හිටුවන විට ඒ සඳහා රජය ඩොලර් බිලියන 6.27කට වඩා වැය කර තිබූ අතර, එය අවසන් කිරීමට ඩොලර් බිලියන 8කට ආසන්න මුදලක් වැය වනු ඇතැයි ගණන් බලා තිබුණි.
RTX සමාගම විසින් 2025 වසරේදී මෙම පද්ධතිය අභ්‍යවකාශ බලකාය (Space Force) වෙත භාර දුන්නද, පරීක්ෂණවලදී හෙළි වූයේ එය මෙහෙයුම් කටයුතු සඳහා සුදානම් නොමැති බවයි. පවතින GPS පද්ධතියේ ආරක්ෂාවට සහ ක්‍රියාකාරීත්වයට පවා මෙහි පවතින දෝෂ තර්ජනයක් විය හැකි බවට ආරක්ෂක අංශ අනතුරු ඇඟවීය.
නව පද්ධතියක් වෙනුවට, දැනට පවතින දශක කිහිපයක් පැරණි GPS පාලන පද්ධතියම වැඩිදියුණු කිරීමට අමෙරිකානු ආරක්ෂක අංශ තීරණය කර ඇත. ඒ සඳහා ලොක්හීඩ් මාර්ටින් (Lockheed Martin) සමාගම සමඟ ඩොලර් මිලියන 105ක නව ගිවිසුමකට එළඹ තිබේ. මෙහිදී සතුරු සංඥා අවහිර කිරීම්වලට (Jamming) ඔරොත්තු දෙන හමුදා මට්ටමේ ‘M-code’ සංඥා තාක්ෂණය වැනි නවීන අංග පවතින පද්ධතියට එක් කිරීමට නියමිතය.
මෙම තීරණය මගින් අමෙරිකානු අභ්‍යවකාශ බලකායේ ප්‍රසම්පාදන උපායමාර්ගයේ වෙනසක් ද පෙන්නුම් කරයි. එනම්, එකම විශාල ව්‍යාපෘතියක් සඳහා වසර ගණනාවක් ආයෝජනය කරනවා වෙනුවට, කුඩා කොටස් වශයෙන් තාක්ෂණය ඉක්මනින් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් (Incremental approach) වෙත ඔවුන් යොමු වී ඇත.
මෙම අත්හිටුවීම මගින් පෙන්නුම් කරන්නේ දැවැන්ත ආරක්ෂක මෘදුකාංග ව්‍යාපෘති පාලනයෙන් බැහැර වූ විට සිදුවන ආර්ථික සහ උපායමාර්ගික බලපෑමයි.














