දෙවැනි පාසල් වාරය ආරම්භ වුවද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බලධාරීන් තවමත් නිෂ්චිත තීරණයක් ගෙන නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි. විශේෂයෙන්ම පළමු වසර ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය වන මොඩියුල (Modules) සහ ගුරු අත්පොත් මේ දක්වා ලබා දී නොමැති බවත්, ඒ සඳහා ගුරුවරුන් නිසි ලෙස පුහුණු කර නොමැති බවත් ඔහු පෙන්වා දෙයි. මානව සම්පත නිසි ලෙස සූදානම් නොකර මෙවැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ඉදිරියට ගෙන යාමෙන් සමස්ත පාසල් පද්ධතියම බරපතළ අර්බුදයකට මුහුණ දෙන බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අවුල් සහගත තත්ත්වයට ජාතික අධ්‍යාපන ආයතනය සෘජුවම වගකිව යුතු බව පවසන ස්ටාලින් මහතා, අධ්‍යාපන පද්ධතිය තුළ මෙවැනි ගැටලුවක් නිර්මාණය කළ එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියට එරෙහිව පත් කළ පරීක්ෂණ කමිටුවල ප්‍රගතිය පිළිබඳව ද කිසිදු පැහැදිලි තොරතුරක් නොමැති බව සඳහන් කළේය. පවතින මෙම අවිනිශ්චිතභාවය හේතුවෙන් දෙවැනි පාසල් වාරය තුළ අධ්‍යාපන කටයුතු සැලසුම් සහගතව සිදු කිරීමට ගුරුවරුන්ට බාධා එල්ල වී ඇති බව ද ඔහු පවසා සිටියේය.













