වනජීවී සහ පශු වෛද්‍ය ක්ෂේත්‍රය මුහුණ දී සිටින බරපතල අර්බුද සහ ව්‍යුහාත්මක අඩුපාඩු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී විශේෂ අවධානයක් යොමු කර තිබේ.
අලි මිනිස් ගැටුම මෙන්ම වන සතුන් සහ මිනිසුන් අතර උද්ගත වන ගැටුම්කාරී තත්ත්වයන් පාලනය කිරීම සඳහා පශු වෛද්‍යවරුන් ඉටු කරනු ලබන මෙහෙවර අතිමහත් වුවද, වනජීවී දෙපාර්තමේන්තුව තුළ පවතින පුරප්පාඩු හේතුවෙන් එම සේවාව දැඩි අභියෝගයකට ලක්ව ඇති බව හෙළි විය. වසර ගණනාවක් පුරා පවතින මෙම වෘත්තීය හිඟය මෙන්ම අදාළ පශු වෛද්‍යවරුන්ට වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ප්‍රමාණවත් නෛතික බලතල හිමිව නොමැති වීම වනජීවී සංරක්ෂණ ක්‍රියාවලියට බරපතල බාධාවක්වී ඇති බව විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය හමුවේ වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය සේවය විධිමත් කිරීම සඳහා කඩිනම් ආයතනික හා නීතිමය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාව මතුව තිබේ. ඉදිරියේදී අලි, කොටියා ඇතුළු මෙරට දුර්ලභ වන සතුන් ආරක්ෂා කරගැනීම සඳහා මෙම ක්ෂේත්‍රයේ පවතින නෛතික හා පරිපාලනමය ගැටලු විසඳීමට රජය සහ අදාළ බලධාරීන් කුමන ආකාරයේ ප්‍රතිචාර දක්වනු ඇත්දැයි පුළුල් අපේක්ෂාවෙන් පසුවෙයි.













