ලෙබනනය සහ ඊශ්‍රායලය අතර දැනට පවතින සටන් විරාමය තවදුරටත් දීර්ඝ කර ගැනීම සඳහා ලෙබනන සහ ඊශ්‍රායල නියෝජිතයන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (23) ඇමරිකා එක්සත් ජනපදයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතය. ලබන ඉරිදා දිනෙන් අවසන් වීමට නියමිත මෙම සටන් විරාමය දීර්ඝ කර ගැනීම බීරූට් පාලනයේ ප්‍රධාන අපේක්ෂාව වී තිබේ. පසුගිය අප්‍රේල් 16 වනදා සිට ක්‍රියාත්මක වූ මෙම සටන් විරාමය හේතුවෙන් ප්‍රචණ්ඩ ක්‍රියාවල සැලකිය යුතු අඩුවක් දක්නට ලැබුණද, දකුණු ලෙබනනයේ ඊශ්‍රායල හමුදා රැඳී සිටින ප්‍රදේශවල තවමත් ගැටුම් වාර්තා වෙමින් පවතී.
විශේෂයෙන්ම ඊයේ (22) දිනයේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මාධ්‍යවේදිනියක ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ මෙම සටන් විරාමයේ ස්ථාවරත්වය පිළිබඳ ගැටලු මතු විය. අල්-අක්බාර් පුවත්පතේ මාධ්‍යවේදිනී අමල් ඛලීල් මෙලෙස මියගිය පිරිස අතර වන බව තහවුරු වී ඇති අතර, සටන් විරාමය ආරම්භ වූ පසු වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ දිනය ලෙස ඊයේ දිනය සැලකේ. ඉරානයේ සහය ලබන හෙස්බොල්ලා සංවිධානය පවසන්නේ ආක්‍රමණික හමුදාවන්ට එරෙහිව සටන් කිරීමට තමන්ට අයිතියක් ඇති බවයි. මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය නොසන්සුන්තාව හමුවේ මෙම සටන් විරාමය තවදුරටත් පවත්වා ගැනීම කලාපීය සාමය සඳහා තීරණාත්මක වනු ඇත.













