කොරියානු විද්‍යා සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද 2026 රජයේ තොරතුරු සහ සන්නිවේදන කුසලතා සම්මාන උළෙලේදී ‘Lablup’ සමාගම ජනාධිපති ප්‍රශංසාවට (Presidential Citation) පාත්‍ර වී ඇත. තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ දියුණුවට සහ කෘතිම බුද්ධි (AI) යටිතල පහසුකම් ප්‍රචලිත කිරීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය පිරිනමා තිබේ.
2015 වසරේදී ආරම්භ කරන ලද Lablup සමාගම විසින් නිර්මාණය කරන ලද ‘Backend.AI‘ වේදිකාව මේ වන විට ලොව පුරා ආයතන 120කට අධික සංඛ්‍යාවක් භාවිතා කරයි. Nvidia, AMD, Intel වැනි විවිධ වර්ගයේ AI අර්ධ සන්නායක (Semiconductors) එකම පද්ධතියක් යටතේ කළමනාකරණය කිරීමට මෙම තාක්ෂණයට හැකියාව පවතී. විශේෂයෙන්ම තනි GPU ඒකකයක් බහුවිධ කාර්යයන් සඳහා බෙදා වෙන් කිරීමේ (GPU Virtualization) තාක්ෂණය මගින් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ඔවුන් සමත් වී ඇත.
සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජුන්ග්-ක්‍යු ෂින් (Jung-kyu Shin) ප්‍රකාශ කළේ, මෙම සම්මානය පසුගිය වසර 11 පුරා සිය කණ්ඩායම කළ කැපවීමට සහ පාරිභෝගික විශ්වාසයට ලැබුණු ගෞරවයක් බවයි. ඕනෑම අයෙකුට පහසුවෙන් AI තාක්ෂණය භාවිතා කළ හැකි මට්ටමට Backend.AI වේදිකාව තවදුරටත් සංවර්ධනය කිරීම සිය අරමුණ බව ද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.














