මෙවර ලෝක පොත් දිනය නිමිත්තෙන්, සාහිත්‍ය පරිවර්තන කලාව සහ එහි අනාගතය පිළිබඳව ජාත්‍යන්තර බුකර් ත්‍යාග ඉතිහාසයේ වැඩිම වාර ගණනක් නිර්දේශ වූ පරිවර්තිකාවක මෙන්ම 2026 ජාත්‍යන්තර බුකර් ත්‍යාග විනිශ්චය මණ්ඩල සභික සොෆී හියුස් (Sophie Hughes) සමඟ යුරෝ නිව්ස් (Euronews) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
පරිවර්තනයක් යනු මුල් කෘතියේ සියලු වචන අලුත් වචනවලින් ප්‍රතිස්ථාපනය කිරීමක් වන අතර, එහිදී කෘතියේ අනන්‍යතාවය සුරැකෙන්නේ ද යන්න පිළිබඳව පවතින දාර්ශනික ගැටලුව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. මෙය වසර දහස් ගණනක් පැරණි “සීසියස්ගේ නෞකාව” (Ship of Theseus) නම් පැරණි ග්‍රීක තර්කයට සමාන කර ඇත. එහිදී නෞකාවක සෑම ලෑල්ලක්ම අලුත් ඒවායින් මාරු කළ පසු එය තවදුරටත් එම නෞකාවම ද යන්න ප්‍රශ්නයක් පැන නගී.
පරිවර්තනයකදී “අහිමි වන්නේ කුමක්ද?” යන්න ගැන කතා කරනවා වෙනුවට, මුල් කතාවට සාධාරණයක් ඉටු කරමින් නව පාඨක ප්‍රජාවක් සඳහා එය “ප්‍රතිනිර්මාණය කරන්නේ කෙසේද?” යන්න ගැන අවධානය යොමු කළ යුතු බව සොෆී හියුස් පෙන්වා දෙයි. පරිවර්තකයා යනු විවිධ භාෂා කතා කරන ලේඛකයින් සහ පාඨකයින් අතර ජාත්‍යන්තර සබඳතා ගොඩනඟන ප්‍රධානියෙකු බවත්, කෘතියක මුල් හරය රැක ගනිමින් වෙනත් සංස්කෘතියකට එය ගෙන යාම ඉතා සියුම් ශිල්පයක් බවත් ඇය අවධාරණය කරයි.














