ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් තුන් කෝටි අසූහය ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි සහ විද්‍යුත් දුම්වැටි තොගයක් සමඟ 27 හැවිරිදි ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. අද අලුයම එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණි මෙම සැකකරු සමඟ තවත් පිරිසක් පැමිණ ඇති අතර, රේගු නිලධාරීන් මොහුව අත්අඩංගුවට ගැනීමත් සමඟ අනෙක් පිරිස සිය ගමන් මලු අතහැර දමා පලා ගොස් ඇති බව වාර්තා වේ. පලාගිය පිරිස සොයා රේගු නිලධාරීන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
සැකකරුවන් රැගෙන ආ ගමන් මලු 16ක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ සඟවා තිබූ විදේශීය නිෂ්පාදිත මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි දෙලක්ෂ විසිනවදහසකට අධික ප්‍රමාණයක් සහ විද්‍යුත් දුම්වැටි 113ක් සොයා ගැනීමට නිලධාරීන් සමත් වී තිබේ. අත්අඩංගුවට පත් සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන අතර, රේගු නිලධාරීන් විසින් අදාළ දුම්වැටි තොගය රාජසන්තක කර සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටියි.













