රුපියල් කෝටි 12කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12ක් සමඟින් සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතම ගෝලයෙකු හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාශය සමත් වී තිබේ. ඊයේ (24) සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ ප්‍රසාද් නිශාන්ත කොළඹගේ නැමැති හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු දැනට විදේශගතව සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘හෝමාගම ගගන’ නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය මෙහෙයුම් මෙහෙයවන ප්‍රධානියෙකු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත සිදුකළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනි. දැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන ‘කොණ්ඩ රංජිත්’ නොහොත් රංජිත් පෙරේරා ඇතුළු ජාවාරම්කරුවන් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ මෙම මත්ද්‍රව්‍ය ජාලය වටලෑමේ මෙහෙයුම් මගින් මේ වන විට මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 37කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. මීට අමතරව රතු වරෙන්තු නිකුත් කර සිටින ‘කොණ්ඩ රංජි’ගේ තවත් ප්‍රධාන ගෝලයෙකු රුපියල් කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දැනටමත් පොලිස් භාරයේ පසුවන බව වාර්තා වේ.














