මැදපෙරදිග අර්බුදය හමුවේ ජාත්‍යන්තර සැපයුම් මාර්ග අවහිර වීමත් සමඟ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිමෙන්ති ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජාතික ඉදිකිරීම් සංගමය අනතුරු අඟවයි. මෙම තත්ත්වය හේතුවෙන් ක්ෂේත්‍රයේ සෘජු සහ වක්‍ර රැකියා නියුක්ත ලක්ෂ 15කට අධික පිරිසක් දැඩි අසරණභාවයට පත්ව සිටිති.
ජාතික ඉදිකිරීම් සංගමයේ ලේකම් සුපුන් අබේසේකර මහතා පෙන්වා දෙන්නේ, අප්‍රේල් මාසය තුළ පමණක් දෙවරක් සිමෙන්ති මිල ඉහළ ගොස් ඇති බවයි. රුපියල් 1,950ක මට්ටමේ පැවති සිමෙන්ති කොට්ටයක මිල මේ වන විට රුපියල් 2,400 දක්වා ඉහළ ගොස් තිබේ. සිමෙන්ති මිල ඉහළ යාමත් සමඟ බ්ලොක් ගලක මිල රුපියල් 75 සිට 105 දක්වා සියයට 40කින් පමණ ඉහළ ගොස් ඇති අතර, මෙය සමස්ත ඉදිකිරීම් පිරිවැය දරාගත නොහැකි මට්ටමකට පත් කර ඇත.
පවතින ගෝලීය අර්බුදය හමුවේ ඇතැම් ව්‍යාපාරිකයන් අනිසි ලෙස මිල ඉහළ නංවමින් වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවට ද චෝදනා එල්ල වේ. ඉදිකිරීම් ක්ෂේත්‍රය බිඳ වැටීම හරහා රටේ ආර්ථික වර්ධනයට මෙන්ම පෞද්ගලික නිවාස සිහින දකින සාමාන්‍ය ජනතාවට ද දැඩි බලපෑමක් එල්ල වී තිබේ.














