දීර්ඝ කාලයක් තිස්සේ මෙරට ක්‍රියාත්මක වූ වාහන ආනයන සීමාවන් හේතුවෙන් දැඩි පීඩනයකට ලක්ව සිටි වාහන ලෝලීන්ට සහ ව්‍යාපාරිකයන්ට 2025 වසර සුවිශේෂී වසරක් විය. රජය විසින් පනවා තිබූ මෝටර් රථ ආනයන සීමාවන් අදියරෙන් අදියර ලිහිල් කරමින්, 2025 ජනවාරි මාසය වන විට පෞද්ගලික රථවාහන සඳහා පැවති සියලු බාධක ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි. මෙම ලිහිල් කිරීමත් සමඟ, වසර ගණනාවක් තිස්සේ සිරවී තිබූ දැවැන්ත වාහන ඉල්ලුම එකවරම දෝරේ ගලා යනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළහ.
රජය ද මෙම තත්ත්වය කල්තියා හඳුනාගෙන, දිගුකාලීන සීමාකිරීම්වලින් පසු ඇතිවිය හැකි අසීමිත ඉල්ලුම පාලනය කිරීම සඳහා තීරුබදු සහ තීරුබදු නොවන ප්‍රතිපත්තිමය පියවර කිහිපයක් ද හඳුන්වා දී තිබුණි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ 2025 වාර්ෂික ආර්ථික විවරණයට අනුව, එම පාලන පියවර පරදවමින් 2025 වසර තුළ වාහන ආනයනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම, 2025 අප්‍රේල් මාසයෙන් පසු පෞද්ගලික සහ වාණිජ යන කාණ්ඩ දෙකෙහිම වාහන ආනයනවල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණු බව එම වාර්තාවේ සඳහන් වේ.
මෙම අසාමාන්‍ය වර්ධනයත් සමඟ, 2025 වසරේ සමස්ත වාහන ආනයන වියදම එ.ජ. ඩොලර් බිලියන 2.04ක් වැනි දැවැන්ත මට්ටමකට ළඟා වී ඇති බව මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි. මෙය මෙරට ඉතිහාසයේ වාර්තා වූ තුන්වන ඉහළම වාර්ෂික වාහන ආනයන වියදම ලෙස සටහන් වේ. 2015 වසරේ වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 2.12 සහ 2018 වසරේ වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 2.09ට පමණක් දෙවැනි වන මෙම වාර්තාව, වසර ගණනාවක් පුරා සිරවී තිබූ ඉල්ලුම සහ රටේ ආර්ථික ක්‍රියාකාරකම්වල ඇති වූ පිබිදීම මනාව පිළිබිඹු කරයි. “ශ්‍රී ලාංකිකයන්ගේ වාහන සිහිනය යළි පණ ගැන්වී ඇති බව මෙම සංඛ්‍යාලේඛන මගින් මනාව තහවුරු වේ.”














