විදේශ රැකියා සිහිනය පසුපස හඹායන අහිංසක ලාංකිකයන් රවටා ලක්ෂ සංඛ්‍යාත මුදල් කොල්ලකන තවත් එක් අතිශය භයානක සහ සූක්ෂ්ම ජාවාරමක තොරතුරු හොරණ ප්‍රදේශයෙන් වාර්තා වේ. ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතනයක මානව සම්පත් කළමනාකරුවකු පවා මෙම උගුලට හසුකර ගැනීමට තරම් ජාවාරම්කරුවන් උපක්‍රමශීලී වී ඇති අතර රුපියල් ලක්ෂ 27කට ආසන්න මුදලක් වංචනික ලෙස ලබාගැනීමෙන් පසු සැකකරුවන් විසින් සිදුකළ එක්තරා ක්‍රියාවක් මුළු රටම මවිතයට පත් කර තිබේ. එංගලන්තයේ එළවළු ගොවිපළවල් සහ ආපනශාලා හිමිකරුවකු ලෙස පෙනී සිටිමින් “දූල්ලෑව” නමැති ව්‍යාජ නමකින් පෙනී සිටි පුද්ගලයෙකු විසින් මෙහෙයවන ලද මෙම මහා පරිමාණ වංචාවට සම්බන්ධ මෙරට නියෝජිත කාන්තාවන් දෙදෙනෙකු මේ වන විට විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වංචාව සඳහා සැකකරු විසින් “උණ්ඩියල්” ක්‍රමය භාවිතා කර ඇති අතර තඹුත්තේගම, ගනේමුල්ල, කඩුවෙල සහ ගොතටුව වැනි ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ගේ බැංකු ගිණුම් වෙත වින්දිතයා ලවා මුදල් බැර කරවාගෙන තිබේ. අතිශය සංවේදී කරුණ නම් ගම්පොල ප්‍රදේශයේ සිල් මාතාවකට උදව් කරන බව පවසා ඇයගේ ගිණුමට ද රුපියල් ලක්ෂයක මුදලක් බැර කරවාගනිමින් මෙම ජාවාරම සිදුකිරීමයි. මුදල් ලබාගෙන මාස කිහිපයකට පසු තමන් හසුවන බව වටහාගත් ප්‍රධාන සැකකරු විසින් තමන් මියගිය බව හැඟවෙන පරිදි ඔහුගේ දරුවන් ලවා වින්දිතයා වෙත කෙටි පණිවුඩ එවා මෙම වංචාවෙන් ගැලවීමට දැරූ උත්සාහය පොලිස් විමර්ශනවලදී සම්පූර්ණයෙන්ම අනාවරණය වී ඇත.
පිළිමතලාව හෝ මහනුවර ප්‍රදේශවල සැඟව සිටින බවට සැකකෙරෙන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හොරණ සහකාර පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර අත්අඩංගුවට ගත් අනෙක් සැකකාරියන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ. මෙවැනි වංචනිකයන් හඳුනාගත් පුද්ගලයන් මාර්ගයෙන් හෝ ව්‍යාජ වේශයන්ගෙන් පැමිණ ඔබේ ජීවිත කාලය පුරා ඉතිරි කළ ධනය මංකොල්ලකෑමට සැදී පැහැදී සිටින බව අමතක නොකරන්න. නිසි නීත්‍යානුකූල මාර්ගවලින් තොරව විදේශ රැකියා සඳහා මුදල් ලබාදීමට පෙර දෙවරක් නොව දහස් වාරයක් සිතා බැලීම ඔබේත් ඔබේ පවුලේත් ආරක්ෂාවට හේතු වනු ඇත.














