වසර තුනකට අධික කාලයක් තිස්සේ මහනුවර ජාතික රෝහලට පැමිණි දහස් සංඛ්‍යාත රෝගීන් මුහුණ දුන් අතිශය දුෂ්කර සහ අවදානම් සහගත තත්ත්වයට ස්ථිරසාර විසඳුමක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. රෝහලේ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ අක්‍රිය වීම හේතුවෙන් ජීවිත අවදානම පවා පසෙකලා පෞද්ගලික අංශයේ මිල අධික ප්‍රතිකාර සොයා යාමට සිදුව තිබූ රෝගී ජනතාවට මෙම නව පිම්ම සැබෑ සහනයක් වනු ඇත. සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් නංවාලීමේ සැලසුම්සහගත වැඩපිළිවෙළ යටතේ රුපියල් මිලියන 425ක දැවැන්ත පිරිවැයක් දරමින් ස්ථාපිත කළ නවීන තාක්ෂණික මෙහෙයුම දැන් ජනතා අයිතියට පත් කර අවසන්ය.
මෙම සුවිශේෂී ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 208ක් වටිනා උසස් තාක්ෂණික යන්ත්‍රයක් මගින් මුත්‍රා පද්ධතියේ ගල් කිසිදු ශල්‍යකර්මයකින් තොරව ධ්වනි තරංග මගින් කුඩු කර පිටකිරීමේ පහසුකම රෝගීන්ට හිමි වේ. මීට අමතරව රුපියල් මිලියන 217ක් වටිනා නවීන ඩිජිටල් ඩී එස් ඒ (DSA) යන්ත්‍රය ද රෝහලට ලැබී ඇති අතර එමගින් රුධිර වාහිනී ආශ්‍රිත රෝග, සනාල රෝග සහ පිළිකා වැනි බරපතළ රෝගාබාධ සඳහා මෙතෙක් තාවකාලිකව නැවතී තිබූ ප්‍රතිකාර ක්‍රමවේදයන් වඩාත් ගුණාත්මකව සහ සුරක්ෂිතව සිදුකිරීමට මග පෑදී තිබේ.
මෙම නව අධි තාක්ෂණික යන්ත්‍ර ද්විත්වය ස්ථාපිත කිරීමත් සමඟ මහනුවර ජාතික රෝහල මධ්‍යම කඳුකරයේ පමණක් නොව සමස්ත ලංකාවේම රෝගීන්ට ගුණාත්මක සේවාවක් සපයන ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් ලෙස තවදුරටත් ශක්තිමත් වේ. වසර කිහිපයක් තිස්සේ රෝගීන් විඳි වේදනාවට සහ අස්ථාවරත්වයට නිමාව තබමින් නවීන තාක්ෂණය මෙලෙස රෝහල් පද්ධතියට එක්වීම රටේ පොදු ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමක් හා සමානය. රජයේ රෝහල් පද්ධතිය මෙලෙස නවීකරණය වීම තුළින් සෑම පුරවැසියෙකුටම ගෞරවනීය සෞඛ්‍ය සේවාවක් හිමිවන දිනය වැඩි ඈතක නොවන බව නොඅනුමානය.














