දස දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි දෝෂදර්ශනයට සහ අවධානයට ලක්ව ඇති මෙරට ක්‍රිකට් පරිපාලනය තුළ මින් පෙර නොවූ විරූ ආකාරයේ දැවැන්ත සෙලවීමක් සිදුවීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණය කරයි. වසර ගණනාවක් පුරා විවිධ අර්බුද මැද ඇදී ආ වත්මන් පරිපාලන ව්‍යුහය උඩුයටිකුරු කරමින් ඉදිරි සතියේදී ක්‍රිකට් පිටියේ තීරණාත්මක වෙනසක් සිදුවනු ඇති බවට අද දිනයේ පළ වූ සති අන්ත ඉංග්‍රීසි පුවත්පත් වාර්තා ද සනාථ කර සිටියි.
ලබන අඟහරුවාදා දිනය මෙරට ක්‍රිකට් ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇත්තේ එදිනට කැඳවා ඇති විශේෂ ක්‍රිකට් විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව එම සාමාජිකයින් ජනාධිපතිවරයා හමු වීමට නියමිතව ඇති බැවිනි. එහිදී දැනට පවතින විධායක කමිටුව සමුගෙන අතුරු පාලන කමිටුවකට මග පාදා දීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වන අතර, එය ක්‍රීඩාවේ පාලනය සම්පූර්ණයෙන්ම වෙනස් මුහුණුවරක් ගනු ඇති බවට ලැබෙන පෙරනිමිත්තකි.
කෙසේ වෙතත් මෙම වෙනසත් සමඟ ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් ද පැන නැගී ඇත්තේ මාස 3ක් ඇතුළත නිලවරණයක් පවත්වා ස්ථාවර පාලනයක් පිහිටුවන තෙක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවීමට ඉඩ ඇති බැවිනි. ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවය රැකගැනීම වෙනුවෙන් ගනු ලබන මෙම තීරණාත්මක පියවර මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයක ආරම්භය වේද නැතහොත් තවත් අගාධයකට ඇද වැටීමක් වේද යන්න තීරණය වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි.














