මහ භාණ්ඩාගාරයේ නිලධාරීන් සිය රාජකාරිය නිසි ලෙස ඉටු කළේ නම්, අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් අපරාධකරුවන් අතට පත්වීම වළක්වා ගැනීමට හැකියාව තිබූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පවසයි. මෙම මුදල යළි අයකර ගත හැකිද යන්න තීරණය වන්නේ අදාළ මුදල් මේ වන විට පවතින ස්ථානය සහ ගිණුම් විස්තර මත බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම මූල්‍ය වංචාව සයිබර් තාක්ෂණයේ “ෆිෂින්” (Phishing) යනුවෙන් හඳුන්වන ක්‍රියාවලියක් බව විජේවර්ධන මහතා පැහැදිලි කළේය. මෙහිදී සිදුවන්නේ යම් නිලධාරියෙකු ඉලක්ක කර ව්‍යාජ ඊමේල් පණිවිඩයක් එවා, ඒ හරහා වැරදි තොරතුරු ලබා දී අදාළ පුද්ගලයා සිය ග්‍රහණයට ගැනීමයි. තොරතුරු ලබා ගැනීමෙන් පසු, අදාළ නිලධාරියා දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙම ජාවාරම්කරුවන්ගේ උපදෙස් මත කටයුතු කිරීම නිසා මෙවැනි මහා පරිමාණ මූල්‍ය හානි සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය.
සාමාන්‍යයෙන් බොහෝ දෙනා මෙවැනි සූක්ෂම උගුල්වලට හසුවන බවත්, බැංකු ගිණුම් හෝ ක්‍රෙඩිට් කාඩ් පත්වල රහස්‍ය තොරතුරු ලබා දුන් සැණින් ජාවාරම්කරුවන් සියලු මුදල් සොරකම් කරන බවත් ඔහු අවධාරණය කළේය. රාජ්‍ය ආයතන වැනි ඉහළ වගකීම් සහිත ආයතනවල මූල්‍ය ගනුදෙනු කිරීමේදී වඩාත් විමසිලිමත් විය යුතු බවත්, නිසි ආරක්ෂිත පියවර අනුගමනය නොකිරීම මෙවැනි සිදුවීම්වලට මූලික හේතුව බවත් හිටපු නියෝජ්‍ය අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














