පිළියන්දල – කැස්බෑව විකල්ප මාර්ගය දෙපස අනවසරයෙන් පවත්වාගෙන ගිය තාවකාලික වෙළෙඳකුටි ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් පසුගියදා ක්‍රියාත්මක විය. මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකළ මෙම මෙහෙයුමේ මූලික අදියර යටතේ කැස්බෑව දෙසට පිහිටි අනවසර කුටි 15ක් පමණ ඉවත් කිරීමට පියවර ගැනිණි.
මෙහිදී අනාවරණය වී ඇති සුවිශේෂී කරුණක් වන්නේ, මෙම වෙළෙඳකුටි බොහොමයක් විවිධ පුද්ගලයන් විසින් සකස් කර කුලී පදනම මත ලබාදීම සඳහා පවත්වාගෙන ගොස් ඇති බවයි. ඇතැම් වෙළෙඳකුටි හිමිකරුවන් ඒවායේ තම දුරකතන අංක ප්‍රදර්ශනය කරමින් ජාවාරමක් ලෙස මෙය සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. පිළියන්දල පොලිසියේ ආරක්ෂාව මධ්‍යයේ සිදුකළ මෙම මෙහෙයුම ඉදිරියේදී කොළඹ දෙසට ඇති අනවසර වෙළෙඳසල් ඉලක්ක කර ගනිමින් ද ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත.














