ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය හිටපු ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ ප්‍රචණ්ඩත්වයට කිසිදු ඉඩක් නොමැති බව අවධාරණය කළ ඔහු, ආරක්ෂක අංශ පෙන්වූ ධෛර්යය අගය කරමින් සිය X ගිණුමේ සටහනක් තබා ඇත. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම රහස් ඔත්තු සේවා නිලධාරීන් දිනපතා කරන කැපවීම පිළිබඳ සිහිගැන්වීමක් බවයි. සිද්ධියෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා සුවය ලබමින් සිටීම පිළිබඳව ද ඔහු සිය සතුට පළ කළේය.
මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මෙලානියා ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඇතුළු ඉහළ නිලධාරීන් රැසක් එම ස්ථානයේ රැඳී සිටි අතර ඔවුන් සියලු දෙනාම අනතුරකින් තොරව බේරා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය. වැඩබලන නීතිපති ටොඩ් බ්ලාන්ච් ප්‍රකාශ කළේ 31 හැවිරිදි කෝල් තෝමස් ඇලන් නමැති සැකකරු ආරක්ෂක වළල්ල බිඳ දැමීමට උත්සාහ කළ වහාම ඔහුව මෙල්ල කර ගැනීමට හැකි වූ බවයි. මේ අතර ජනාධිපති ට්‍රම්ප් මෙම සිදුවීමෙන් පසු අදහස් දක්වමින් යුරෝපය ආරක්ෂා කිරීමට ඇමෙරිකාව විශාල මුදලක් වැය කළ ද නේටෝ (NATO) සංවිධානයෙන් නිසි සහයෝගයක් නොලැබෙන බවට යළිත් චෝදනා කර තිබේ.














