පවතින බලශක්ති අභියෝග හමුවේ රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඩිජිටල් තාක්ෂණය සහ දුරස්ථ සේවා (Remote Work) ක්‍රමවේද භාවිතා කිරීම පිළිබඳ නව මාර්ගෝපදේශ මාලාවක් ඩිජිටල් ආර්ථික හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. මැද පෙරදිග නොසන්සුන්තාවය හේතුවෙන් ඇති වූ ඉන්ධන සැපයුම් සීමාවන් හමුවේ රාජ්‍ය සේවකයින්ට කාර්යාලයට පැමිණීම සීමා කරමින් සේවා සැපයීම මෙහි අරමුණයි.
රජයේ ලේඛන ඉලෙක්ට්‍රොනිකව නිර්මාණය කිරීම, අනුමත කිරීම සහ සංසරණය කිරීම නීත්‍යානුකූල බව රජය අවධාරණය කරයි. ඒ අනුව ස්කෑන් කරන ලද අත්සන්, ඩිජිටල් අත්සන් (Digital Signatures) හෝ නිල ඊ-මේල් මගින් හුවමාරු වන ලේඛන වලංගු ලිපි ලේඛන ලෙස පිළිගැනීමට තීරණය කර ඇත.
මාර්ගගත වීඩියෝ සම්මන්ත්‍රණ සඳහා රජය විසින් හඳුන්වා දී ඇති meet.gov.lk
වේදිකාව ප්‍රධාන මෙවලම ලෙස භාවිතා කළ යුතු බව නිර්දේශ කර තිබේ. අවශ්‍යතාවය අනුව වෙනත් වාණිජ වේදිකා ද සීමිත කාලයක් සඳහා භාවිතා කිරීමට අවසර ලබා දී ඇත.
රාජ්‍ය නිලධාරීන්ගේ ඩිජිටල් කුසලතා වර්ධනය කිරීම සහ තොරතුරු ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ. මෙම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය 23 වන දිනැති අංක 02/2026 දරන චක්‍රලේඛය මගින් සියලුම රාජ්‍ය ආයතන දැනුවත් කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.














