කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ප්‍රමුඛ පෙළේ හෝටල් සමාගමක් වන BROWNS BEACH HOTELS PLC, අප්‍රේල් 27 පසුව කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවෙන් ඉවත් වේ. ඒ අනුව එම සමාගමේ කොටස් ගනුදෙනු සිදුකළ හැකි අවසාන දිනය අද වන අතර, හෙට (අප්‍රේල් 28) සිට එම කොටස් පුවරුවෙන් ඉවත් කෙරෙනු ඇත.
මෙම ඉවත් වීමට අදාළ පසුබිම් තොරතුරු මෙසේය:
Sentido Heritance Negombo නමින් ක්‍රියාත්මක වන මෙම හෝටලය, මෙල්ස්ටාකෝප් සමූහයට අයත් එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමූහයේ කොටසකි. එහි කොටස් ප්‍රාග්ධනයෙන් බහුතරයක් මෙල්ස්ටාකෝප් පීඑල්සී සහ එහි අනුබද්ධිත සමාගම් සතුව පවතී.
පසුගිය වසර කිහිපය තුළ එල්ල වූ පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ මෙරට පැවති ආර්ථික අර්බුදය හමුවේ හෝටල් ක්ෂේත්‍රය දැඩි පසුබෑමකට ලක් විය. 2019 වසරේ සිට දිගින් දිගටම සිදු වූ මූල්‍ය පාඩු පියවා ගැනීමට නොහැකි වීම සහ සමාගම මුහුණ දී ඇති අයහපත් මූල්‍ය තත්ත්වය හේතුවෙන් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට මීට පෙර තීරණය කර තිබුණි.
සමාගම කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමේදී එහි සිටින සුළුපරිමාණ කොටස් හිමියන් සතු සෑම කොටසක් වෙනුවෙන්ම රුපියල් 30 බැගින් ගෙවීමට යෝජනා වී ඇත.
මෙම ඉවත් කිරීම සඳහා වන යෝජනාවලිය මෙම වසරේ ජනවාරි 19 වැනිදා සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලදී.














