දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් හානියට පත්ව ඇති වී සහ බඩඉරිඟු ඇතුළු භෝග 06ක් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂය බැගින් වන්දි මුදල් ගෙවීමට රජය තීරණය කර ඇත. මෙම වන්දි ගෙවීම උපරිම අක්කර 05ක් සඳහා පමණක් සීමා වන බව රජය පවසයි. මොනරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අම්පාර සහ අනුරාධපුර ආදී දිස්ත්‍රික්කවල වී සහ බඩඉරිඟු ඇතුළු වගාවන්ට මේ වන විට බරපතළ ලෙස හානි සිදුවී ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලයට වාර්තා වී තිබේ. ඒ අනුව අදාළ දිස්ත්‍රික්කවල හානියට පත් කුඹුරු ඉඩම් වෙත ගොස් හානි පරීක්ෂා කිරීමේ කටයුතු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් විසින් මේ වන විටත් ආරම්භ කර ඇත. මෙම තත්ත්වය යටතේ මේ වන විට හානියට පත් කුඹුරු අක්කර 6,073ක ගොවි මහතුන් 4,707කට ආසන්න පිරිසකට කඩිනමින් වන්දි මුදල් නිදහස් කිරීමට කටයුතු යොදමින් පවතී. නියං තත්ත්වය හේතුවෙන් වගා හානි වී ඇත්නම්, හැකි ඉක්මනින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් හමුවී තම හානිය දැනුම් දිය යුතු අතර, එසේ නොමැති නම් ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල පවත්වාගෙන යන හානි දැනුම්දීමේ ලේඛනයෙහි වගා හානිය සටහන් කර ගැනීම ගොවි මහතුන් විසින් කළ යුතුය. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අසා දැනගැනීම සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ 1918 යන කෙටි ඇමතුම් අංකය භාවිත කළ හැකි බව ද සඳහන් වේ. වන්දි ගෙවීම් කඩිනම් කර ගොවීන්ට සිදුව ඇති වගා හානි ආවරණය කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ද අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.














