රුසියාව විසින් සහනදායී කොන්දේසි යටතේ මෙරටට ඛනිජ තෙල් ලබා දීමට කැමැත්ත පළ කර තිබියදීත්, රජය එම අවස්ථාව මගහරිමින් සිටින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය බරපතල චෝදනාවක් එල්ල කරයි. එම සංවිධානයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් ද යොමු කර තිබේ.
රුසියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර සෘජු ගනුදෙනුවක් ලෙස සහන ණය පදනම මත ඩීසල් බැරලයක් ඩොලර් 150-160ත් අතර මිලකට ලබා ගැනීමට හැකියාව පවතින බව එම ලිපියෙහි සඳහන් වේ. එසේ තිබියදී ඉන්දියානු සමාගමකින් ඩීසල් බැරලයක් ඩොලර් 286ක් වැනි ඉතා ඉහළ මිලකට මිළදී ගැනීම ගැටලු සහගත බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින බ්‍රිතාන්‍ය වැනි රටවල සහය පැතීමට වඩා, දැනටමත් සහන මිලට තෙල් සැපයීමට ඉදිරිපත් වී සිටින රුසියානු තානාපතිවරයා හමුවී සාකච්ඡා කිරීම බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රමුඛ කාර්යය විය යුතු බව එම සංවිධානය අවධාරණය කරයි. ෂීෂෙල්ස් රාජ්‍යය පවා රුසියාවෙන් සහන මිලට තෙල් ලබා ගැනීමට සමත්ව ඇති පසුබිමක ශ්‍රී ලංකාව එම අවස්ථාව ප්‍රතික්ෂේප කිරීම ජාතික අපරාධයක් බව ද ඔවුන් පවසයි.
පටු දේශපාලනික හෝ නිලධාරිවාදී බාධාවන් පසෙකලා ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම මත රුසියාවෙන් සහන මිලට තෙල් ලබා ගැනීමට වහාම කටයුතු කරන ලෙස දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියි.












