ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් (Airbus) ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ලබන මැයි මස 05 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (2026.04.28) නියම කළේය.
මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසිනි. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන තීරණය එදිනට ප්‍රකාශයට පත් කරන බව ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී සඳහන් කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත. වසර ගණනාවක් තිස්සේ මහත් ආන්දෝලනයට ලක්වූ මෙම එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ පරීක්ෂණ දැනටමත් අවසන් අදියරේ පවතින බව වාර්තා වේ.














