ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන මෙන්ම තාක්ෂණික හා වෘත්තීය පුහුණු පද්ධතීන් ශක්තිමත් කිරීමේ අරමුණින්, ‘Commonwealth of Learning’ ආයතනයේ සහයෝගීතාවය ඇතිව ක්ෂුද්‍ර සහතික (Micro-Credentials) පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සහ රාමුවක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ශීඝ්‍රයෙන් වෙනස් වන තාක්ෂණික ලෝකයේ ශ්‍රම වෙළඳපොළ ඉල්ලුමට සරිලන පරිදි නිපුණතා වර්ධනය කර ගැනීමටත්, රැකියා නියුක්තිය ඉහළ නැංවීමටත් ක්ෂුද්‍ර සහතික ක්‍රමය ජාත්‍යන්තරව පිළිගත් සාර්ථක ක්‍රමවේදයකි. ශ්‍රී ලංකාවේ පවතින වෘත්තීය සුදුසුකම් ජාත්‍යන්තර මට්ටමින් පිළිගැනීමට සහ සැසඳීමට හැකි වන පරිදි මෙම ජාතික රාමුව ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන ඇත.
මෙම වැඩපිළිවෙළට අදාළ මූලික සැලසුම් සකස් කිරීම සඳහා වූ වැඩමුළුවක් 2026 මැයි මාසයේදී කොළඹදී පැවැත්වීමට නියමිතය. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව, අදාළ ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ‘Commonwealth of Learning’ ආයතනය සමඟ ගිවිසුමකට එළඹීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ මූල්‍ය දායකත්වය එම ආයතනය විසින්ම සපයනු ලබයි.














