රටක ආහාර සුරක්ෂිතතාව යනු එම රටේ ස්ථාවරත්වය, ස්වෛරීත්වය මෙන්ම ජාතික ආරක්ෂාව කෙරෙහි බලපාන තීරණාත්මක සාධකයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය. ඊයේ (28) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැති “සැප්” (SAPP) ජාතික තරුණ කෘෂි – ව්‍යවසායක ප්‍රදර්ශනය අමතමින් ඇය මේ බව පැවසුවාය.
වත්මන් ලෝකයේ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ කෘෂිකර්මාන්තය දැඩි අභියෝගයකට ලක්ව ඇති බව ඇය පෙන්වා දුන්නාය.
කොවිඩ් වසංගතය සහ මැද පෙරදිග පවතින යුධමය තත්ත්වයන් හමුවේ වුවද රටක ආහාර සුරක්ෂිතතාව නොමැති නම් එම රටේ ආර්ථිකය දැඩි අභියෝගයට ලක්වන බව ඇය සඳහන් කළාය.
දේශගුණික විපර්යාස හේතුවෙන් කෘෂිකර්මාන්තයට එල්ල වන බලපෑම සහ ඉන් ඇතිවන අභියෝග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.
කෘෂි ව්‍යවසායකයන්ගේ කාර්යභාරය හුදු මුදල් ඉපයීමක් පමණක් නොව, එය රටේ ජාතික ආරක්ෂාවට සිදුකරන සුවිශේෂී මැදිහත්වීමක් බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
“Grow and Sell” (වවන්න සහ විකුණන්න) වැනි සංකල්ප හරහා නිෂ්පාදන ආර්ථිකය සවිබල ගැන්වීමේ වැදගත්කමද ඇය අවධාරණය කළාය.
මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණේ කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD) සහ ශ්‍රී ලංකා රජයේ සහයෝගිතාවයෙන් ක්‍රියාත්මක වන “කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන” (SAPP) මගිනි.
මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය K.D. ලාල් කාන්ත මහතා, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ පිරිසක් සහභාගී වූහ.















