පසුගිය නොවැම්බර් මාසයේදී මෙරටට දැඩි බලපෑම් එල්ල කළ මාරක ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු හටගත් ආපදා තත්ත්වය හමුවේ රටේ සාමාන්‍ය ජනජීවිතය තවමත් පවතින්නේ දැඩි අස්ථාවර මට්ටමකය. මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම යන අරමුණු පෙරදැරි කරගෙන පනවන ලද දැඩි නීතිමය රාමුව අවසන් වීමට නියමිතව තිබුණද, පවතින අවදානම් සහගත වාතාවරණය හේතුවෙන් එම විශේෂ ආරක්ෂක තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමනායක මහතා විසින් අත්සන් කරන ලද විශේෂ නිවේදනයක් හරහා ප්‍රකාශයට පත් කළ මෙම තීරණයත් සමඟ රටේ ඉදිරි ගමන පිළිබඳව නව සංවාදයක් නිර්මාණය වී ඇත.
ඒ අනුව, පසුගිය නොවැම්බර් 29 වැනිදා සිට ක්‍රියාත්මක වූ මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් සම්පූර්ණ මාසයක කාලයකින් දීර්ඝ කර ඇති අතර, එයට සමගාමීව ක්ෂේත්‍ර 15ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ද යළි බලාත්මක කෙරිණි. විදුලිය, ඉන්ධන, ජලය සහ සෞඛ්‍ය සේවා වැනි අත්‍යවශ්‍ය සැපයුම්වලට අමතරව බැංකු, රක්ෂණ, මාධ්‍ය සහ ප්‍රවාහන ඇතුළු තීරණාත්මක අංශ රැසක් මෙම දැඩි නීතිමය රෙගුලාසි යටතට පත් කර තිබේ. ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා රජය විසින් මෙලෙස බලතල අත්පත් කරගෙන ඇත්තේ ආපදා තත්ත්වයෙන් පසු රට ගොඩනැගීමේ අභියෝගය තවමත් නිම වී නොමැති පසුබිමක ය.
ආහාර සැපයීම, වාරිමාර්ග සහ දුරකථන සන්නිවේදනය වැනි ක්ෂේත්‍ර පවා අත්‍යවශ්‍ය සේවා ගණයට ඇතුළත් කිරීම හරහා පැහැදිලි වන්නේ රටේ අනාගත ස්ථාවරත්වය වෙනුවෙන් රජය ඉතා දැඩි පිළිවෙතක් අනුගමනය කරන බවයි. දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ගේ සිට මාධ්‍ය සේවාවන් දක්වා විහිදී ඇති මෙම නීතිමය බැඳීම, ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා රාජ්‍ය යන්ත්‍රණය සන්නද්ධව තැබීමේ ප්‍රයත්නයකි. ‘දිට්වා’ කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කරන තුරු මෙම විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙළ රටේ සාමයට සහ ආරක්ෂාවට ශක්තිමත් පවුරක් වනු නොඅනුමානය.














