විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘හෝමාගම ගගන’ නමැත්තාගේ වෙඩික්කරු ලෙස ක්‍රියාකළ බවට සැක කෙරෙන 41 හැවිරිදි පුද්ගලයෙකු බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හෝමාගම පිටිපන ප්‍රදේශයේදී සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීමේදී සැකකරු සතුව තිබී ඔස්ට්‍රියාවේ නිෂ්පාදිත ගිනි අවියක්, මැගසිනයක් සහ උණ්ඩ 05ක් ද පොලිස් භාරයට ගෙන ඇත. කොඩිතුවක්කු කම්කානම්ගේ ලසන්ත නොහොත් ‘අංජු’ නමැති මෙම සැකකරු හෝමාගම, පාදුක්ක, හංවැල්ල, මීගොඩ, කොස්ගම සහ නවගමුව යන ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් රැසකට සම්බන්ධ බවට සැක කෙරෙන අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ පසුවන ‘කොණ්ඩ රංජිත්’ නමැති අපරාධකරුගේ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳව කළ විමර්ශනවලින් අනාවරණය වූ තොරතුරු මත මෙම සැකකරු කොටු කර ගැනීමට හැකිවී තිබේ. අදාළ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ විමර්ශනවලදී මේ වන විට සැකකරුවන් පස්දෙනෙකු සහ රුපියල් කෝටි 50කට ආසන්න වටිනාකමකින් යුතු හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 37ක් ද අත්අඩංගුවට ගෙන ඇත. මෙම වැටලීම සහ ඉදිරි විමර්ශන කටයුතු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායම් විසින් සිදු කරනු ලබයි.
















