ලෝකයේ රටවල් 60ක සහභාගීත්වයෙන් කොලොම්බියාවේදී පැවැත්වෙන ෆොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත්වීම පිළිබඳ ප්‍රථම ජාත්‍යන්තර සමුළුව සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නෙදර්ලන්තය සහ කොලොම්බියාව එක්ව සංවිධානය කරන මෙම හමුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාවලියෙන් බැහැරව ලෝක නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙයි.
පසුගිය කාලය පුරා පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළු (COP) හරහා ෆොසිල ඉන්ධන අවසන් කිරීම සම්බන්ධයෙන් ස්ථිර සැලසුම් ඉදිරිපත් නොවීම නිසා මෙම නව ක්‍රියාවලිය ආරම්භ කර ඇත.
ලෝකයේ වැඩිපුරම හරිතාගාර වායු විමෝචනය කරන රටවල් “වීටෝ” බලය භාවිත කරමින් ෆොසිල ඉන්ධන පිළිබඳ සාකච්ඡා වැළැක්වීමට උත්සාහ කරන බවට සමුළුව සංවිධානය කරන පාර්ශ්වයන් චෝදනා කරයි.
එක්සත් ජාතීන්ගේ සම්මුතීන් තුළ පවතින “සියලු දෙනාගේ එකඟතාවය අවශ්‍ය වීම” (Rule of consensus) වැනි නීති නිසා විශාල ප්‍රගතියක් අත්කර ගැනීමට නොහැකි වී ඇති බැවින්, මෙම ස්වාධීන සමුළුව හරහා පිරිසිදු බලශක්තිය කරා යන ගමන වේගවත් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම සමුළුව හරහා ෆොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත්වීමේදී ඇතිවන ආර්ථික අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා රටවල් අතර නව සබඳතාවක් ගොඩනැඟීමට සැලසුම් කර ඇත.















